Thursday, February 1, 2018

එදා මැච් එක ලංකාව දිනුම් මම විභාගේ ෆේල්

පර්සි දැන් ක්‍රිකට්වලින් අයින් වෙලාද?







පර්සි දැන් ක්‍රිකට්වලින් අයින් වෙලාද?
නෑ තාම ඉන්නවා
පහුගිය කාලෙ දකින්න හිටියේ නැත්තේ?
මගේ බිරිඳ නැති වුණා. අක්කා නැති වුණා. ඒ දේවල් එක්ක ටිකක් ක්‍රිකට්වලින් ඈත්වෙලා හිටියේ. ඒ නිසයි ආවේ නැත්තේ.
කවදද ආයෙ ක්‍රීඩාලෝලීන් අතරට එකතු වෙන්නේ?
ඉක්මනටම එනවා. ඊළඟ ටුවර් එකෙන් පස්සේ ආපහු එන්න තමයි හිතාගෙන ඉන්නේ. අනිවාර්යයෙන් ඊළඟ සංචාරෙන් පස්සේ ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් මම එනවා.
පර්සිගෙ පුංචි කාලෙ ගෙවුණෙ කොහොමද?
මම පොඩි කාලෙ හිටියේ ගාල්ලේ. අපේ අම්මයි තාත්තයි දෙන්නම මුල් ගුරුවරු. ඒ අය එහේ හිටපු කාලේ තමයි අපි එහේ ඉස්කෝලවලට ගියේ. මම 1941 ඉඳන් 1947 වෙනකල් මම ගියේ ගාල්ලේ රිච්මන්ඞ් එකට. 47 ඉඳන් 54 වෙනකල් ඇලෝසියස්. ඒකෙන් සාමාන්‍ය පෙළ විභාගයට ලිව්වා. ඊට පස්සේ ඇක්වයිනාස් එකට ගියා. ඒ අතරේ ශ්‍රී රතනසාර ඉස්කෝලේ පාලි, සිංහල ඉගෙන ගත්තා.
ක්‍රිකට්වලට කැමතියිද ඒ කාලේ?
උසස් පෙළ ලන්ඩන් විභාගය කළේ 1958. ඉකොනොමික්ස් මම පාස්. ඉකොනොමික් හිස්ටි්‍ර එක දවසේ ලංකාවයි ඉන්දියාවයි ගෝපාලන් කුසලාන මැච් එක තමිල්නාඩුවල. සතාසිවම්, සාරුව ජයවික්‍රම, බෙන් නවරත්න වගේ අය තමයි ලංකාව වෙනුවෙන් සෙල්ලම් කළේ. පොඩි පොකට් රේඩියෝ එකෙන් තමයි අහන්නේ. එදා මැච් එකේ සී.අයි.ගුණසේකර හොඳට සෙල්ලම් කළා. සී.අයි බැට් කරන්න යනකොට කාර් පාක් එකේ කාර් තියන්නේ නෑ. එයා ජයසූරියටත් වඩා වේගයෙන් පන්දුවට පහර දෙන කෙනෙක්. එයා එදා 100ක් ගහල තිබුණා. එදා පේපර් එක දෙන්න කලින් මගේ යාළුවා කිව්වා මම යනවා මැච් එක බලන්න කියලා. මමත් ගියා. එදා මැච් එක ලංකාව දිනුම්. මම විභාගේ ෆේල්.
ගෙදරින් දඬුවම් ලැබෙන්න ඇති?
ඒ පේපර් බලන්නෙ ලන්ඩන්වල. රිසාල්ට් එකේ විෂයයට යටින් පොඩියට ඒබීඑස් කියලා දාලා තිබුණා. මට දැන් බයයි මේක අරන් ගෙදර යන්න. ඉස්කෝලේ ෆාදරුත් සැරයි. ගෙදර ෆාදරුත් සැරයි. දෙන්නගෙම අතේ වේවැල තියෙනවා. තාත්තගේ නීතිය තිබුණේ පේපර් එක අමාරු වුණාට ෆේල් වුණාට කමක් නෑ විභාගෙ ලියන්න ඕනේ කියලා. මගෙන් ඇහුවා මොකද අර විෂයයට වුණේ කියලා. මම කිව්වා බෑඞ් ෆේලියර් කියලා. අර පොඩියට තිබුණු අකුරු එයා දැක්කේ නෑ. පහුවදා එයා ඉස්කෝලෙට ගිහින්. ෆාදර් පීටර් පිල්ලේ තමයි එදා හිටියේ. එයා අපේ තාත්තට කියලා මේ විභාගෙට මම ගිහින් නෑ කියලා. තාත්තා ගෙදර ඇවිත් දවස් 3කට පස්සේ මගෙන් ඇහුවා මොකද වුණේ කියලා. මම කලින් උත්තරේම දුන්නා. මට එවෙලෙම කම්මුල් පාරක් දුන්නා.
ඉස්කෝලෙ ගමන් එතනින්ම ඉවර වුණා?
තාත්තා කිව්වේ මෙයාට තියෙන්නේ ක්‍රිකට් පිස්සුවක්. උගන්වලා වැඩක් නෑ කියලා. තාත්තගේ ආශාව තිබුණේ මාව නීතිඥයෙක් කරන්න. ඒ වෙද්දි ටිරෝන් ප්‍රනාන්දු හිටපු විදේශ කටයුතු ඇමති, සුනිල් සිල්වා සොලිසිටර් ජෙනරල්, වාසුදේව නානායක්කාර, උමා පොන්නම්බලම් මගේ පන්තියේ හිටියේ. ඇක්වයිනාස් එකේදි ගාමිණී දිසානායක,ජෝන් අමරතුංග, ජයලත් ජයවර්ධන වගේ කට්ටිය. ඒ අය මට වඩා ජූනියර් ඊට පස්සේ කලුතර ්ඵඋ එකේ වැඩට ගියා. එතන හිටියා සිරිල් ද සොයිසා. අපේ නෑදැයෝ. එයා තමයි 1981 ස්ටොක් කොන්ට්‍රෝල් ඔෆිසර් කෙනෙක් විදියට මාව සම්බන්ධ කරගත්තේ. එතන අවුරුදු 20ක් හිටියා. ඒකේදි මම 68 අවුරුද්දේ ක්‍රිකට් කණ්ඩායමේ කැප්ටන් වුණා. වෙළෙඳ සේවා අංශයක ශූරතාව දිනාගත්තේ මගේ නායකත්වය යටතේ. මම වමත් පිතිකරු දකුණත් පා දඟ පන්දු යවන්නෙක්. එතනින් වර්තමාන සභාපති මදනායක මහත්තයත් එක්ක මම ්ක්‍ඛ එකට සම්බන්ධ වුණා.
ඔය මොනව කිව්වත් අපි පර්සිව දන්නේ ක්‍රිකට් නරඹන්නෙක් විදියට, නිකම්ම නරඹන්නෙක් නෙවෙයි ක්‍රීඩකයන් දිරිමත් කරන්නෙක් විදියට. කොහොමද ඒකට යොමු වුණේ?
මම ඇලෝසියස් එකේ ඉගෙන ගන්න කාලේ නිවාසාන්තර ක්‍රීඩා තිබුණා. නිවාස 5ක්. ඒ නිවාසවල ක්‍රිකට් ගහනකොට සෙල්ලම් කරත් නොකළත් හවුස් එකේ කොඩිය පාවිච්චි කරන්න ඕනේ. ඒකෙන් තමයි කොඩියට පුරුදු වුණේ.
දිරි දෙන්නෙක් විදියට ප්‍රේක්‍ෂකාගාරයට එන්නේ කොයි කාලෙද?
මම කොඩියක් අරන් චියරින්වලට ආවේ 79. එංගලන්තයේ තමයි මැච් එක තිබුණේ. එතකොට පර්සිස් ෆන්ඞ් කියලා අරමුදලක් තිබුණා. ඒ මැච් එක අපි දිනුවා. ඒකෙන් තමයි ලෝක කුසලානෙට සුදුසුකම් ලැබුවේ. ඊට පස්සේ ඉන්දියාව එක්ක මැච් එක. මැච් එකේදි කැච් එකක් ආවා දුලිප් මෙන්ඩිස්ගේ. අපි කෑ ගැහුවා ඕක අල්ලන්න බෑ, පිටි පස්සේ පිස්සු බල්ලෙක් කියලා. කැච් එක අත ඇරුණා. අපි ඒ මැච් එකත් දිනුම්.
පහුවදා ගාඩියන් පත්තරේ හෙඩි ලයින් එක තිබුණේ මගේ නම. පර්සි අබේසේකර නිසා මැච් එක දිනුවා කියපු කතාවක් තමයි තිබුණේ. ගවස්කාර්ලට තාම ඒ උෂ්ණෙ තියෙනවා. අදටත් එයා නිවේදනය කරද්දි කියනවා සමහර මැච් ඉන්දියාව පැරදුණේ පර්සි නිසා කියලා. ඒ හැඟීම එයාලට ඇති වෙලා තියෙනවා.
මොකක්ද අර පොලිසි ගිය කතාව?
1972දී ඔස්ටේ්‍රලියා 19න් පහළ ටීම් එක ලංකාවට ආවා. ඒ ඇවිත් ලංකාවේ 19න් පහළ ටීම් එකත් එක්ක මැච් 3ක් තිබුණා. අපි පළවෙනි මැච් දෙක හොඳට කළා. මැච් දෙකම ඩ්‍රෝ. තුන්වෙනි මැච් එකේ අවසාන දවස. ලංකාව පරදින්න යන්නේ. මම අතේ කොඩියක් තිබුණෙත් නෑ. බොඩිය විතරයි. විකට් 7ක් ගිහින් ලකුණු 100ක් විතර ගහන්න ඕනේ. පැයක විතර කාලෙකුත් තියෙනවා. මැච් එක කොහොම හරි ඩ්‍රෝ කරවන්නයි මට ඕනේ. අපි කලින් මැච් එකේදි බැට් කරද්දි ඔස්ටේ්‍රලියාවේ අය අපේ ක්‍රීඩකයන්ට කළුවො, අඟුටුමිට්ටෝ කියලා බැන්ණා. මගෙ ඔළුවෙ ඒකත් තිබුණා. අසිත ජයවීර ලකුණු 50ක් ගැහුවා. මම පිට්ටනිය මැද්දට ගිහින් අසිත ජයවීරව බදාගත්තා. එයාගෙ බැට් එක ඉල්ල ගත්තා. විකට් එකට ගිහින් අම්පයර්ගෙන් ස්ටම්ප් එක ඉල්ලුවා. අම්පයර් මට බැන්නා ගෙටවුට් මෙන් කියලා. කීපරුත් බණිනවා. විනාඩි 3ක් විතර මම මැද. මිනිස්සු කෑ ගහනවා. කවුරුත් දන්නෙ නෑ මම පර්සි කියලා. පස්සේ පොලිසියේ ඕ.අයි.සී. ඇවිත් මාව අල්ල ගත්තා. මාව එක්ක යද්දි මහාදේවන් සතාසිවම් පොලිසිය එක්ක කතා කරා. කොහොම වුණත් මට පයින් ගහලා තමයි පොලිස් කූඩුවට දැම්මේ.
සතාසිවම් රුපියල් 100ක් දීලා මට ඇප දීලා තිබුණා. එතකොට රෑ 11යි. මම එළියට එද්දි 500ක් විතර සෙනග. මම ඇහුවා මැච් එක මොකද කියලා. එයාලා කිව්වා ඔයාට පිංසිද්ධ වෙන්න මැච් එක ඩ්‍රෝ කියලා. ඊට පස්සේ තමයි එයාලා මාව පර්සි කියලා දැන ගත්තේ. ඊට පස්සේ උදේ 3 වෙනකල් මැච් එක ඩ්‍රෝ කර ගත්ත සතුට සැමරුවා.
අනෙක් ප්‍රේක්‍ෂකයන්ගෙන් මොන වගේ ප්‍රතිචාරද ලැබුණේ ?
මම චියර් කරන හැටියට එයාලා වශී වෙලා. පළවෙනි මැච් එකේදි සුද්දෙක් මට කිව්වා උඹේ කොඩිය මගේ පිටේ ගහන්න කියලා.මම ගැහුවා. සමහරු එයාට හූ කිව්වා. මම කොඩිය එයාට තෑගි කළා. ඊළඟ සැරේ මට ගෙදරට ආරාධනා කළා. මම එහේ යද්දි මම දුන්න කොඩිය තමයි එයාගේ ගෙදර බිත්තියේ ගහල තිබුණේ.
ක්‍රීඩකයන්ගෙනුත් හොඳ ප්‍රතිචාර ලැබෙන්න ඇති?
1984දි ලංකාවෙදි තිබුණා තුන්කොන් තරගාවලියක්. ලංකාවයි, නවසීලන්තෙයි, පාකිස්තානෙයි. මම චියර් කරන හැටි නවසීලන්තෙ අය බලන් හිටියා. මාටින් ක්‍රෝ තමයි එතකොට නවසීලන්තයේ විතරක් නෙවෙයි ලෝකයේ හොඳම බැට්ස්මන්. එදා එයා තරගයේ වීරයා වුණා. තරගයේ වීරයා විදියට සම්මානෙ අරන් එද්දි එයා මාව දැක්කා. පස්සේ මගේ ළඟට ඇවිත් එයාගෙ සම්මානේ මට දුන්නා. හම්බවුණ සල්ලිත් දුන්නා. මම කිව්වා සල්ලි ගන්නේ නෑ. කුසලානේ යද්දි දෙන්නම් කියලා. හවස ඔබරෝයි එකට ගියා. එතකොට රිචඞ් හැඞ්ලි, මාටින් ක්‍රෝ, සිදත් වෙත්තමුණි තුන්දෙනා කෑම කනවා. මම කුසලානේ හංගගෙන ගියේ. මම යද්දිම සිදත් වෙත්තමුණි ගියා. මාටින් ක්‍රෝ මට වාඩිවෙන්න කිව්වා. මම කුසලානේ ආපහු දුන්නා. ඒත් එයා ගත්තේ නෑ. පස්සේ එයාගෙ කාමරේට එක්කරන් ගියා. ඒ ගිහින් එයාගෙ අවුරුදු 10ක් පාවිච්චි කරපු හැට් එක මට දුන්නා. අනිත් ක්‍රීඩකයොත් මට තෑගි දුන්නා. රිචඞ් හැඞ්ලිට දෙන්න දෙයක් තිබුණෙ නෑ. එයා දුවගෙන ගිහින් නවසීලන්තේ ඔෆීෂියල් ටයි එක දුන්නා. එතකොට මට ලංකාවෙ ටයි එකවත් හම්බවෙලා නෑ.
96 ලෝක කුසලාන මැච් එක ගැන තියෙන්නේ මොන වගේ මතකයක්ද?
වර්ලඞ් කප් අවසාන තරගෙට කලින් ඊඞ්න් ගාර්ඞ්න් එකේ ඉන්දියාව එක්ක මැච් එක. එතකොට මමයි, තිස්සයි, ලයනලුයි තුන්දෙනාම හිටියා. දැන්නම් එයාල කොහෙද දන්නෙත් නෑ. එදා මැච් එක ඉවර වෙද්දි ටී ෂර්ට් එක සැලඞ් එකක් වගේ. මැච් එක පැරදුණායින් පස්සේ ඉන්දියාවේ කෙනෙක් ඇවිත් මගේ කොඩියෙන් ඇද්දා. මම දුන්නේ නෑ. පස්සේ ඒක ඉරුණා. ඒ කොඩිය තවමත් මගේ ළඟ තියෙනවා. ඊට පස්සේ පොලිසියෙන් ඇවිත් ප්‍රශ්නේ බේරුවා.
එදා එළියට බහිද්දි මාව මරණ තත්ත්වෙක හිටියේ. අර්ජුනයි, ගුරුසිංහයි මට එන්න කියලා එයාලත් එක්ක තමයි ගියේ. ඊට පස්සේ ෆයිනල් එක ලාහෝර්වල. අපිට පාස් එකක්වත් තිබුණෙ නෑ. පස්සේ ලංකාවෙ කෙනෙක් අපිව හොරෙන් වගේ අරන් ගියා. එදා හොටෙල්වලින්වත් කීයක්වත් ගත්තෙ නෑ. එදා මැච් එක දිනුවට සනයි, කලුයි කලින්ම අවුට්නේ. මට බයයි. මම පිරිත් කියන්න පටන් ගත්තා වැඳගෙන. මම ඒක සාමාන්‍යයෙන් කරනවා. ලංකාවෙ මැච් තියෙන පළාත්වල ප්‍රසිද්ධ පූජනීය ස්ථානවලට මම යනවා. මැච් එකට කලින්. නුවර තියෙද්දි දළදා මාලිගාවට, හම්බන්තොට නම් කතරගමට, දඹුල්ලේ නම් දඹුලු ලෙන් විහාරෙට යනවා.
කාන්තාවන්ගෙනුත් ලොකු ආකර්ෂණයක් තියෙනවා?
මම චියර් කරන වෙලාවට ගෑනු අයත් එනවා. සමහරු කියනවා මම මනමාලයෙක් කියලා. මම එහෙම කෙනෙක් නෙවෙයි. ගෑනු අය කිස් කරනවා. එයාල එක්ක ඩාන්ස් කරනවා. අපි පරණ ඉස්කෝලෙ අය. අලුත් අයට මේව මැජික් වගේ. සමහරු නම් ලව් පාට් වගේ එනවා. එයාලගේ අයිඩියා තිබුණේ මගේත් එක්ක ගිහින් කට්ටිය අඳුරගන්න. ඒ නිසා මම දැන් ඒවට යන්නෙ නෑ.
ක්‍රීඩකයෝ අඩු ලකුණු ගානකට දැවී යන්නත් ප්‍රේක්‍ෂකාගාරය හේතුවක් වෙන්න පුළුවන්. එහෙම අවස්ථා අත්විඳලා නැද්ද ?
ඬේවිඞ් බූන් – ටස්මේනියන් ගූන්
කම්බැක් සූන් – බිෆෝ නූන් කියද්දි තුන්වෙනි බෝලෙට අවුට්. බූන්ට මගේ දුක පළ කරන්න ගියාම බැට් එක අරන් මට ගහන්න ආවා. එයාට මර්ඩර් කේස් එකකුත් තියෙනවා. හැබැයි දැන් නම් මට හරි ආදරෙයි.
එක දවසක් අසුරුදීන් බැට් කරන්න එද්දි මම කිව්වා උඹ 3 වෙනි බෝලෙන් අවුට් වෙනවා මම හීනෙන් දැක්කා කියලා. අසුරුදීන් මෙහෙට ආවේ එක දිගට සීයෙ ඒවා තුනක් ගහලා. අපේ අය බය වෙලා හිටියේ. මම කළේ අසුරුදීන් දිහා බැලුවා. ළාමක සෙන්සිටිව් චරිතයක්. වචන ඇති එයාට. එයා තුන්වෙනි බෝලෙට අවුට් වුණා. එයා හිතුවා මම මන්තරකාරයෙක් කියලා. අවුට් වෙලා උඩට ගිහින් මම කෑමට යද්දි එයා කපිල් දේව් එක්ක පහළට එනවා. මම දැක්කා විතරයි ආපහු හැරිලා ගියා. මම කළේ පේමන්ට් එකෙන් ඇට මාලයක් අරන් අසුරුදීන් බැට් කරන්න උඩ ඉද්දි වැඳගෙන පිරිත් තියනවා. අසුරුදීන් දිහාත් බලනවා. මිනිහා මම දිහා බලන්නේම නෑ. බැට් කරන්න යද්දි ළඟටම ගිහින් පිරිත් කියනවා. ඒ තරගාවලියේදි ලෝකේ හොඳම බැට්ස්මන්ගෙ සාමාන්‍යය ලකුණු 18යි. සරා ස්ටේඩියම් එකේ ටෙස්ට් මැච් එකත් අපි දිනුම්. අසුරුදීන් මට අදටත් බය ඇති. ඒකට ජේ.ආර් උන්නැහැ නිවාඩුත් දුන්නා. සමහරු කියනවා මම ඉද්දි ලක් එක තියෙනවා කියලා. සමහර විට මම කියන දේට හොඳ ක්‍රීඩකයෝ අවුට් වෙලා තියෙනවා. ඔය වටේට යන්න බැරි වෙන්න වැටවල් දාලා තියෙන්නේ මම නිසයි කියලත් කියනවා.
දැන් වයස කීයද?
81යි.
තව ක්‍රිකට් වෙනුවෙන් දුවන්න පුළුවන්ද?
ඇයි බැරි මට හොඳ ෆිට් එකක් තියෙනවා අනිත් අයට වඩා. මම හිතනවා මට තව ගොඩක් කල් ක්‍රිකට් වෙනුවෙන් දායකත්වය දෙන්න පුළුවන් කියලා.

No comments:

Post a Comment

new ads

ads